ජර්මනිය, එක්සත් රාජධානිය සහ ප්රංශය ඒකාබද්ධව සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ඉංග්රීසි ඕඩය හරහා නීතිවිරෝධී ලෙස සංක්රමණිකයන් රැගෙන යාමට යොදාගන්නා කුඩා බෝට්ටු සහ උපකරණ තොගයක් ජර්මනියේදී අත්අඩංගුවට ගෙන තිබේ.
උතුරු රයින්-වෙස්ට්ෆේලියා (North Rhine-Westphalia) ප්රදේශයේ සිදුකළ වැටලීම්වලදී ජීවිත ආරක්ෂක ඇඳුම් (Life jackets) 9,000කට වැඩි ප්රමාණයක්, බෝට්ටු, එන්ජින් සහ පම්ප් 360ක් පොලිස් භාරයට ගෙන ඇත. එක්සත් රාජධානියේ ජාතික අපරාධ ඒජන්සියට (NCA) අනුව, මෙම උපකරණ මගින් සංක්රමණිකයන් 2,000කට වැඩි පිරිසක් නීතිවිරෝධී ලෙස ඉංග්රීසි ඕඩය හරහා ප්රවාහනය කිරීමට ඉඩ තිබුණි.
මීට පෙර ජර්මානු නීතිය යටතේ දඬුවම් ලැබුවේ යුරෝපා සංගමය (EU) තුළ සිදුවන නීතිවිරෝධී ජාවාරම්වලට පමණි. බ්රෙක්සිට් (Brexit) ක්රියාවලියෙන් පසු එක්සත් රාජධානිය EU සාමාජිකයෙකු නොවන බැවින්, ජර්මනිය හරහා මෙම ජාවාරම් සිදුකිරීම වැළැක්වීමට තිබූ නෛතික බාධා ඉවත් කරමින් පසුගිය දෙසැම්බර් මාසයේදී නව නීතියක් සම්මත කරනු ලැබීය.
















