පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට 2025/26 නව ශිෂ්‍ය කණ්ඩායම බඳවා ගැනීමේ උත්සවය සඳහා හිටපු ආණ්ඩුකාරවරයෙකු සහ හිටපු උපකුලපතිවරයෙකු වන මහාචාර්ය සරත් අබේකෝන් මහතාට ආරාධනා කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් කටයුතු කර තිබේ.
2009-2012 කාලයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා මෙන්ම ඉංජිනේරු පීඨයේ හිටපු පීඨාධිපතිවරයෙකු වූ මහාචාර්ය අබේකෝන් මහතා විශ්වවිද්‍යාල සීමාවට ආසන්නව පදිංචිව සිටියද, පසුගිය වසර 12 ක කාලය තුළ විශ්වවිද්‍යාලයේ නිල උත්සව සඳහා ඔහුට ආරාධනා කිරීමට බලධාරීන් කටයුතු කර නොතිබුණි.
එහෙත්, මෑත කාලයේ ජාතික ජන බලවේගය සමඟ එක්වෙමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධූරයට ඔහු පත්වීමත් සමඟ, එම දේශපාලන බලයෙන් වාසි ලබාගැනීමේ අරමුණින් මෙම ආරාධනය සිදුකර ඇති බවට විශ්වවිද්‍යාල ප්‍රජාව අතර කතාබහක් නිර්මාණය වී ඇත.
මෙම ආරාධනය ඔහු ආණ්ඩුකාර ධූරයෙන් සමුගැනීමට පෙර සිදුකර ඇති අතර, ඉදිරියේදී පැවැත්වීමට නියමිත උපකුලපති නිලවරණය සඳහා දේශපාලන අනුග්‍රහය ලබාගැනීමේ සැලසුමක් මෙම හදිසි මතක්වීම පිටුපස පවතින බවට ද චෝදනා එල්ල වේ.
















