ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සමාගම වන ඩයලොග් ආසිආටා පීඑල්සී (Dialog Axiata PLC) විසින් 2026 වසරේ පළමු අර්ධය සඳහා වන සිය මූල්‍ය දත්ත වාර්තා කරමින් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමෙහිලා තමන් සතු වගකීම මැනවින් ඉටුකර තිබේ. සමාගම විසින් නිකුත් කළ නවතම මූල්‍ය වාර්තාවන්ට අනුව, 2026 ජූනි මස 30 වන දිනෙන් අවසන් වූ මාස හය තුළදී රජයේ ආදායම උදෙසා රුපියල් බිලියන 30.9ක දායකත්වයක් ලබා දීමට ඩයලොග් සමූහය කටයුතු කර ඇත. මෙහි විශේෂත්වය වන්නේ, එම මුදලින් රුපියල් බිලියන 8.1ක් සෘජු බදු සහ ලෙවී ලෙසත්, රුපියල් බිලියන 22.8ක් රජය වෙනුවෙන් එකතු කරන ලද වක්‍ර බදු ලෙසත් වාර්තා වීමයි. පසුගිය වසරේ එම කාල සීමාව හා සැසඳීමේදී මෙම බදු දායකත්වය 9%ක වර්ධනයක් පෙන්නුම් කිරීම කැපී පෙනේ.
ආර්ථිකයට ලබා දෙන බදු දායකත්වයට අමතරව, ශ්‍රී ලංකාවේ ඩිජිටල් තාක්ෂණික ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තැබීම සඳහා ද ඩයලොග් ආසිආටා විශාල ආයෝජනයක් සිදුකර තිබේ. ඒ අනුව, 5G තාක්ෂණය දියුණු කිරීම සහ දේශීය ඩිජිටල් යටිතල පහසුකම් තවදුරටත් පුළුල් කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 18.5ක ප්‍රාග්ධන වියදමක් සමාගම විසින් දරා ඇත.
සිය සන්නිවේදන ජාලයේ මොබයිල්, ෆික්ස්ඩ් සහ ඩිජිටල් පේ ටීවී (Digital Pay Television) ව්‍යාපාරවල පවතින ශක්තිමත් ක්‍රියාකාරීත්වය හමුවේ, 2026 පළමු භාගයේදී සමූහයේ ආදායම රුපියල් බිලියන 95.5ක් දක්වා 9%කින් ඉහළ ගොස් ඇත. වසරේ පළමු භාගය තුළ සමාගම ලැබූ ශුද්ධ ලාභය රුපියල් බිලියන 19.3ක් ලෙස සටහන් වීම තුළින් ඩයලොග් ආසිආටා සමාගම අභියෝගාත්මක ආර්ථික පරිසරයක් තුළ පවා තිරසාර සංවර්ධනයක් පවත්වාගෙන යන බව මනාව පැහැදිලි වේ.














