අම්බලන්ගොඩ පොලිස් භාරයේ සිට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකරුවෙක් රෝහල් වැසිකිළියක් තුළ ජීවිතක්ෂයට පත්ව තිබේ. අදාළ සැකකරු ඊයේ (17) රාත්‍රියේ මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණපා ඇති බව වාර්තා වේ.
වතුගෙදර, සීනිගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි අයෙක් තියුණු ආයුධයකින් පුද්ගලයකුට පහර දුන් බව කියන චෝදනාවකට ඊයේ (17) නීතිඥවරයෙකු මාර්ගයෙන් අම්බලන්ගොඩ පොලීසියට භාරවී ඇති අතර, පසුව පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවේ සිටියදී ඔහුට ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාව යටතේ ඔහුව බලපිටිය රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.
ප්‍රතිකාර ලබමින් සිටියදී වැසිකිළි යෑමට අවශ්‍ය බව පවසා ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් සමඟ වැසිකිළියට ගොස් සිටියදී, ඔහු ඇඳ සිටි සරම ආධාරයෙන් මෙම අනපේක්ෂිත අභාවය සිදුව ඇත. අම්බලන්ගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.














