කොළඹ 07, බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ සේවකයකුට පහරදී මරා දැමීමේ සිද්ධියට අදාළව කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද 17 හැවිරිදි බාලවයස්කාර පිරිමි ළමයා ලබන 24 වැනි දින දක්වා පරිවාස භාරයේ තබන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට කළ කරුණු දැක්වීමකින් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති අතර, සීදුව, ලියනගේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු ක්‍රිකට් ක්‍රීඩකයෙකි. මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි සුමිත් ප්‍රනාන්දු නම් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ සේවකයෙකි.
සැකකාර දරුවා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා ඇත්තේ සැකකාර දරුවා මානසික ආබාධ සහිත අයකු බවත්, මාකොළ රැඳවුම් නිවාසයේ සිටියදී එහි සිටි වෙනත් දරුවකු විසින් එල්ල කළ පහරදීමක් නිසා ඔහු මේ වන විට රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවත්ය. එහිදී මහෙස්ත්‍රාත්වරයා පරිවාස නිලධාරීන්ට නියෝග කර ඇත්තේ සාමාන්‍ය දරුවන් සහ මානසික ආබාධිත දරුවන් පරිවාස භූමිය තුළ වෙන්කර තැබිය යුතු බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත්ය.














