ශ්‍රී ලංකා නාවික හමුදාව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව, ධීවර ප්‍රජාවේ සෞඛ්‍ය ආරක්ෂාව සහ සවිමත් බව තහවුරු කිරීම අරමුණු කරගනිමින් ප්‍රථමාධාර පිළිබඳ ධීවර ප්‍රජාව බලගැන්වීමේ පුහුණු වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
ඒ යටතේ උතුරු නාවික විධානයේ සම්පත් දායකත්වයෙන් පැවැත්වූ ප්‍රථමාධාර පිළිබඳ ධීවර ප්‍රජාව බලගැන්වීමේ පුහුණු වැඩසටහන, 2026 අගෝස්තු මස 17 වැනි දින යාපනය, පේදුරුතුඩුව ධීවර වරාය පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.
දිවයිනේ ධීවර වරාය පරිශ්‍ර ගණනාවක් ආවරණය වන පරිදි 2026 අගෝස්තු 17 සිට නොවැම්බර් 18 දක්වා විධිමත් කාල රාමුවකට අනුව පවත්වනු ලබන මෙම ප්‍රථමාධාර පිළිබඳ පුහුණු වැඩසටහන් මාලාව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සංවිධායකත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ විශේෂඥ සම්පත් දායකත්වයෙන්; නැගෙනහිර, බටහිර, උතුර, වයඹ, දකුණ සහ ගිණිකොණ නාවික විධාන ආඥාපතිවරුන්ගේ අධීක්ෂණයෙන් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු සංවිධානය කර ඇත.
ඒ අනුව, උතුරු නාවික විධානයේ ආඥාපතිගේ අධීක්ෂණයෙන්, විධාන වෛද්‍ය කාර්යය මණ්ඩලයක සම්පත් දායකත්වයෙන් සහ යාපනය දිස්ත්‍රික් ධීවර අධ්‍යක්ෂක කාර්යාලයේ සහ පේදුරුතුඩුව ධීවර වරාය කළමනාකාරිත්වයේ සම්බන්ධීකරണයෙන් සහ සංවිධායක දායකත්වයෙන් පවත්වන ලද මෙම ප්‍රථමාධාර පිළිබඳ පුහුණු වැඩමුළුව තුළදී; මුහුදේදී ධීවර ප්‍රජාව වෙත සිදුවිය හැකි අනතුරු සහ ප්‍රතිකාර සඳහා ගොඩබිමට පැමිණෙන තෙක් හෝ වෛද්‍ය සහාය ලැබෙන තෙක් රෝගියා වෙත පළමු උපකාරය හෝ ප්‍රතිකාරය ලබා දීම සම්බන්ධයෙන් ධීවර ප්‍රජාව දැනුවත් කිරීම සිදු කෙරිණි.
තවද, මූලික ජීවන ආධාරක (Basic Life Support) පිළිබඳවත්, ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී සිදුවිය හැකි අනතුරු සහ අනතුරකින් පසු ගත යුතු පියවර පිළිබඳවත් වැඩසටහන සඳහා සහභාගී වූ ධීවර ප්‍රජාව, න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව දැනුවත් කිරීමත්, ඒ සම්බන්ධ ගැටළු සාකච්ඡා කිරීමත් එහිදී සාර්ථකව සිදුකරන ලදී.














