ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම මූලික කරගනිමින් මඟී ඩ්‍රෝන යානා සේවාවක් ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේදී පැවැත්වී තිබේ. විෂයභාර අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට චීනයේ EHang සමාගමේ නියෝජිතයන් සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ව ඇත.
මෙම සේවාව සංචාරක කර්මාන්තයට අමතරව හදිසි ආපදා සේවා සහ සමුද්‍රීය ක්ෂේත්‍රයේ අවශ්‍යතා සඳහාද යොදාගැනීමට හැකියාව පවතින බව මෙහිදී අවධාරණය කෙරිණි. EHang සමාගම විසින් හඳුන්වා දී ඇති **eVTOL** (විදුලි බලයෙන් ක්‍රියාත්මක වන සිරස්ව ගුවන්ගත හා ගොඩබැස්සවිය හැකි) යානා මඟීන් දෙදෙනෙකුට ගමන් කළ හැකි අතර, ඒවා ප්‍රචාලන පංකා 16කින් සමන්විත වන අතර AI තාක්ෂණය භාවිතයෙන් ස්වයංක්‍රීයව පාලනය කළ හැක.
වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමට පෙර ගුවන් ආරක්ෂාව, නියාමන රාමුව, ගුවන් මාර්ග පාලනය, සයිබර් හා දත්ත ආරක්ෂාව මෙන්ම ගොඩබැස්සවීමේ ස්ථාන ඇතුළු කරුණු සම්බන්ධයෙන් අදාළ සියලු අනුමැතීන් ලබාගැනීම අනිවාර්ය බව අමාත්‍යවරයා අවධාරණය කළේය. සීගිරිය, පිදුරංගල, කොළඹ නගරය සහ වරාය නගරය ආශ්‍රිතව මෙම සේවාව යොදාගැනීම පිළිබඳව අවධානය යොමුව ඇති අතර, වරාය නගරය තුළ මෙම යානා සඳහා ආදර්ශ කලාපයක් ස්ථාපිත කිරීමේ හැකියාව ගැනද සාකච්ඡා කර ඇත.














