ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවට ආරක්ෂිත, කාර්යක්ෂම, ගුණාත්මක සහ දැරිය හැකි මිලකට අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීම තහවුරු කිරීමේ අරමුණින් **2026-2030 ජාතික ඖෂධ ප්‍රතිපත්තිය** කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.
වර්තමාන සෞඛ්‍ය අවශ්‍යතා, ගෝලීය ඖෂධ වෙළඳපොළේ වෙනස්වීම්, ඖෂධ සැපයුම් දාමයේ අභියෝග සහ දේශීය ඖෂධ නිෂ්පාදනය සම්බන්ධ නව අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මෙම නව ප්‍රතිපත්තිය සකස් කර ඇත.
මෙම ප්‍රතිපත්තිය හරහා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට යටත්ව ගුණාත්මක සහ ආරක්ෂිත ඖෂධ දැරිය හැකි මිලකට අඛණ්ඩව ලබා දීම අපේක්ෂා කෙරේ. මීට අමතරව, සෞඛ්‍ය වෘත්තිකයන් සහ පාරිභෝගිකයන් විසින් ඖෂධ විද්‍යාත්මකව නිවැරදි හා පිරිවැය-කාර්යක්ෂම ලෙස භාවිත කිරීම ප්‍රවර්ධනය කිරීම හරහා සෞඛ්‍ය සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ අපද්‍රව්‍ය අවම කිරීම ද මෙහි අරමුණකි. අත්‍යවශ්‍ය වෛද්‍ය නිෂ්පාදනවල කාර්යක්ෂමතාව, ආරක්ෂාව සහ ගුණාත්මකභාවය සහතික කරමින් දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමද මෙහි තවත් ප්‍රධාන අරමුණක් වන අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.













