දෙරටේම වරදකරුවන් වන පුරවැසියන්ට ඔවුන්ගේ මව් රට තුළ සිරදඬුවම් විඳීමට අවස්ථාව ලබා දීම සහ සමාජීය පුනරුත්ථාපනයට සහයෝගය දැක්වීම සඳහා පෝලන්ත රජය සමඟ විශේෂ ගිවිසුමකට එළඹීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව මඟින් ශ්‍රී ලංකාව සහ පෝලන්ත ජනරජය අතර සිරකරුවන් හුවමාරු කර ගැනීමේ නිල ගිවිසුමකට අත්සන් තැබීම සඳහා අනුමැතිය අපේක්ෂා කර ඇත.
ශ්‍රී ලංකාවේ 1995 අංක 5 දරන වරදකරුවන් මාරු කිරීමේ පනත යටතේ, මෙරටදී වරදකරුවන් වන විදේශීය ජාතිකයින්ට ඔවුන්ගේ මව් රටවල සිරදඬුවම් විඳීමට විධිවිධාන සලසා දී ඇති අතර, වෙනත් රටකදී සිරදඬුවම් ලැබූ ශ්‍රී ලංකා පුරවැසියන්ට ද ඉතිරි සිරදඬුවම් කාලය ගෙවීම සඳහා යළි ලංකාවට ගෙන්වා ගැනීමට මෙමඟින් හැකියාව ලැබේ.
පෝලන්තය සමඟ යෝජිත මෙම නව ගිවිසුම හරහා එවැනි හුවමාරු කිරීම් සඳහා විධිමත් රාමුවක් ස්ථාපිත වන අතර, වරදකරුවන්ට තම මව් රටවල සිට සිරදඬුවම් විඳීමට සහ සමාජ පුනරුත්ථාපන කටයුතු වඩාත් පහසු කර ගැනීමට මඟ සැලසේ.














