තරුණ පරිශීලකයින්ට සිය සමාජ මාධ්‍ය වේදිකා මගින් සිදුවන බව කියන හානි වැළැක්වීමට ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවට චෝදනා කරමින් Meta සමාගමට එරෙහිව එක්සත් ජනපද ප්‍රාන්ත 30ක් නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ. කැලිෆෝනියා සහ නිව්යෝර්ක් ඇතුළු ප්‍රාන්ත විසින් 2023 වසරේදී මෙම නඩුව ගොනු කර ඇති අතර, ළමුන් සම්බන්ධ ෆෙඩරල් සහ ප්‍රාන්ත රහස්‍යතා නීති රැසක් Meta විසින් උල්ලංඝනය කර ඇති බවට එහිදී චෝදනා එල්ල කර ඇත.
අදාළ නඩුවේදී Meta වෙතින් දැවැන්ත වන්දියක් ඉල්ලා ඇති බව වාර්තා වන අතර, තරුණයින් සඳහා Instagram සහ Facebook ක්‍රියාත්මක වන ආකාරයෙහි සැලකිය යුතු වෙනස්කම් සිදුකරන ලෙසද ප්‍රාන්ත ඉල්ලා සිටී. ඒ යටතේ නව යොවුන් පරිශීලකයින් සඳහා දෙමාපිය සත්‍යාපන ක්‍රමයක් හඳුන්වාදීම, පරිශීලකයින් දිගු වේලාවක් වේදිකාවල රඳවා තබා ගැනීමට බලපාන නිර්දේශ ඇල්ගොරිතම වෙනස් කිරීම සහ පෙනුම වෙනස් කරන ඇතැම් රූප පෙරහන් ඉවත් කිරීම වැනි ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.
මීට අමතරව, වීඩියෝ ස්වයංක්‍රීයව වාදනය වීම නතර කිරීම, එක් පරිශීලකයෙකුට බහු ගිණුම් නිර්මාණය කිරීම සීමා කිරීම සහ Instagram Stories වැනි තාවකාලික අන්තර්ගත සම්බන්ධයෙන්ද වෙනස්කම් සිදුකරන ලෙස ප්‍රාන්ත ඉල්ලා ඇත. මෙම ඉල්ලීම් ක්‍රියාත්මක වුවහොත්, තරුණ පරිශීලකයින් සඳහා Instagram සහ Facebook හි වර්තමාන පරිශීලක අත්දැකීමේ සැලකිය යුතු වෙනසක් සිදුවිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම නඩු විභාගය, තරුණ පරිශීලකයින් සම්බන්ධයෙන් Meta සමාගම මුහුණ දෙන මෙතෙක් ඇති විශාලතම නීතිමය අභියෝගයක් බවටද පත්වී තිබේ.














