සංචාරක තදබදය අවම කරමින් ජාත්‍යන්තර වනෝද්‍යාන ප්‍රමිතීන්ට අනුකූලව යාල ජාතික වනෝද්‍යානයේ භෞතික හා මානව සම්පත් සංවර්ධනය කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් යාල කලාප අංක 2 හි පලටුපාන පිවිසුමේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ වනෝද්‍යාන පිවිසුම, තොරතුරු මධ්‍යස්ථානය, අතිරේක ටිකට් කවුළු, කෞතුකාගාරය, සනීපාරක්ෂක සේවා සහ සේවක නේවාසිකාගාර වැඩිදියුණු කිරීමට නියමිතය. එපමණක් නොව, සංචාරක තදබදය පාලනය කිරීම සඳහා ලුණුගම්වෙහෙර පිවිසුමේ පහසුකම් සංවර්ධනය කිරීම, අරන්ගමුව නව නැරඹුම් කලාපයක් ලෙස ආරම්භ කිරීම සහ අබලන්ව ඇති මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට ද යෝජනා වී ඇත. වියළි කාලගුණ තත්ත්වය හමුවේ සතුන්ට අවශ්‍ය ජල පහසුකම් අඛණ්ඩව සැපයීම සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.














