දේශීය ලොකු ලූනු වගාවේ නිෂ්පාදන වියදම අවම කර අස්වැන්න ඉහළ නැංවීම මඟින් මෙරට ලොකු ලූනු අවශ්‍යතාවෙන් 50%ක් රට තුළම නිෂ්පාදනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සූදානම් වේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු අධ්යක්ෂ පී. සිසිර කුමාර මහතා මේ බව පැවසීය.
‘පුනරුදයට අරුණලු’ ජාතික කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහනට සමගාමීව මාතලේ, අනුරාධපුර, කුරුණෑගල, පොළොන්නරුව, වවුනියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්ක ඉලක්ක කරගනිමින් මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක වේ. නව තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් අක්කරයකින් ලැබෙන අස්වැන්න කිලෝ ග්‍රෑම් 16,000ක් දක්වා දෙගුණ කර ගැනීමටත්, බිංදු ජල සම්පාදන පද්ධති, සූර්ය බල පොම්ප සහ ගුණාත්මක බීජ සහන මිලට ලබා දීමටත් කටයුතු යොදා ඇත. වාර්ෂිකව ලොකු ලූනු ආනයනය සඳහා රුපියල් මිලියන 25,000ක් පමණ වැය වන අතර, මෙමඟින් එම පීඩනය අවම කර ගැනීමට අපේක්ෂා කෙරේ.














