ජනතාවට ආරක්ෂිත, ගුණාත්මක සහ දැරිය හැකි මිලකට අත්‍යවශ්‍ය ඖෂධ ලබාගැනීම තහවුරු කිරීමේ අරමුණින් 2026 සිට 2030 දක්වා කාලය සඳහා වන නව ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. 2005 වසරේ සකස් කරන ලද පැරණි ප්‍රතිපත්තිය වෙනුවට නව කාලීන අවශ්‍යතා, ගෝලීය වෙළඳපල වෙනස්කම් සහ දේශීය ඖෂධ නිෂ්පාදන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මෙම නව ප්‍රතිපත්තිය සකස් කර තිබේ.
මීට අමතරව, අත්‍යවශ්‍ය ඖෂධ, විශේෂිත වැඩසටහන් සඳහා වන ඖෂධ, වෛද්‍ය පරිභෝජන භාණ්ඩ සහ දුර්ලභ රෝග සඳහා වන ඖෂධ මිලදී ගෙන සැපයීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමඟ මූල්‍යමය ගිවිසුමකට එළඹීමට ද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. ඖෂධ සැපයුම් දාමයේ පවතින අභියෝග මඟහරවා ගනිමින් අඛණ්ඩව ඖෂධ සැපයුම තහවුරු කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.
මේ අතර, කොළඹ ජාතික රෝහලේ හෘද සැකසුම් සේවා පුළුල් කිරීම සඳහා ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල (KDU) රෝහල සමඟ ත්‍රිපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට එළඹීමට ද තීරණය කර ඇත. ජාතික රෝහලේ හෘද හා උරස් ශල්‍යකර්ම අංශයේ දිගු පොරොත්තු ලේඛනයට විසඳුමක් ලෙස, KDU රෝහලේ නවීන පහසුකම් භාවිතා කරමින් රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමට මෙමඟින් නියමිතය.














