ගෝලීය කෘෂිකර්මාන්තයට බලපා ඇති එල් නිනෝ (El Niño) දේශගුණික විපර්යාසය සහ මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන්, ඉදිරි මාස කිහිපය තුළ ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සියයට 20ත් 25ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවට ආනයනකරුවන් අනතුරු අඟවා තිබේ.
නාවික ප්‍රවාහන හා වෙළඳ කටයුතුවලට එල්ල වී ඇති බාධා මෙන්ම ප්‍රධාන ආහාර නිෂ්පාදක රටවල් සිය පරිභෝජනය සුරක්ෂිත කර ගැනීම සඳහා අපනයන සීමා පැනවීම මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතු වී ඇත. මේ වන විටත් ඉන්දියාව සීනි අපනයනය තහනම් කර ඇති අතර, බ්‍රසීලය වැනි රටවලින් සීනි ආනයනය කිරීමට සිදුවීම නිසා ප්‍රවාහන පිරිවැය සහ කාලය ඉහළ ගොස් තිබේ.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය මේ පිළිබඳව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාව දැනුවත් කර ඇති අතර, ඉන්දියාව ලොකු ලූනු අපනයනයටද සීමා පැනවීමට සූදානම් වීම නිසා නෙදර්ලන්තය වැනි දුර බැහැර රටවලින් ලූනු ගෙන්වීමට සිදුවුවහොත් නාවික ගාස්තු ඉහළ යාම නිසා මිල තවත් වැඩි විය හැකි බව පෙන්වා දෙයි. දැනටමත් නාවික ප්‍රවාහන ගාස්තු සියයට 20-30ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකාව පරිප්පු, සීනි, තිරිඟු, සහල් සහ ටින් මාළු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක් ආනයනය කරන බැවින් මෙම ගෝලීය තත්ත්වය මෙරට වෙළඳපොළට සෘජුවම බලපානු ඇත.
















