බ්‍රිතාන්‍යය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ‘සැල්මොනෙල්ලා’ (Salmonella) නමැති ආහාර විෂවීමේ තත්ත්වයක් හේතුවෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් සිය ගණනක් රෝගී වී ඇති බව එරට සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සිය (UKHSA) නිවේදනය කරයි. පර්යේෂකයින් පෙන්වා දෙන පරිදි මෙය රට පුරා පැතිර යන බරපතල වසංගත තත්ත්වයකි.
මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැති වුවද, ආනයනික බිත්තර හෝ බිත්තර අඩංගු ආහාර නිෂ්පාදන මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව විය හැකි බවට සැක පළ කෙරේ. මෙම ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් වාර්තා වී ඇත්තේ නිවෙස්වලින් නොව, අවන්හල් සහ කැෆේ වැනි ආහාර සේවා සපයන ස්ථානවලින් ආහාර ගැනීමෙන් බවද අනාවරණය වී තිබේ. වාර්තා වී ඇති රෝගීන් 207 දෙනෙකුගෙන් 199 දෙනෙකුම එංගලන්තයෙන් හමුවී ඇති අතර, ජාන විශ්ලේෂණ පරීක්ෂණ මගින් මෙම සියලු දෙනා එකම බැක්ටීරියා ප්‍රභේදයකින් ආසාදනය වී ඇති බව තහවුරු කර ඇත.
සතුන්ගේ දිරවීමේ පද්ධතියේ ජීවත් වන සැල්මොනෙල්ලා බැක්ටීරියාව, මනා ලෙස පිස නොගත් ආහාර, අපවිත්‍ර ජලය හෝ ආසාදිත සතුන් සමඟ ගැටීම හරහා මිනිසුන්ට ආසාදනය විය හැක. උදරයේ වේදනාව, පාචනය, වමනය සහ උණ මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වන අතර, ආසාදනය වී පැය 12ත් 72ත් අතර කාලයක් තුළ රෝග ලක්ෂණ මතු වේ. කුඩා ළදරුවන්, වයෝවෘද්ධ පුද්ගලයින් සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අය මෙම රෝගයෙන් දැඩි ලෙස අවදානමට ලක්විය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
















