කුලී රථ සේවා හෝ ඒවා හරහා මගීන්ට උපකාර කරන පුද්ගලයන් සම්බන්ධයෙන් අපරාධ, සොරකම්, කොල්ලකෑම් සහ තර්ජනය කිරීම් වාර්තා වීමේ ප්‍රවණතාවක් පවතින බැවින් මහජන ආරක්ෂාව උදෙසා ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ ආරක්ෂිත උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. මගීන් තමන් ලබා ගන්නා සේවාවන්හි විශ්වසනීයත්වය සහ තම ආරක්ෂාව පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටීම අතිශයින් වැදගත් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි නීතිවේදී එෆ්. යූ. වුට්ලර් මහතා පෙන්වා දෙයි.
ගමනක් ආරම්භ කිරීමට පෙර වාහනය නිසි පරිදි ලියාපදිංචි වී ඇද්දැයි පරීක්ෂා කර බැලීම, ලියාපදිංචි අංකය, වාහන මාදිලිය සහ රියැදුරුගේ නම නිසි ලෙස සත්‍යාපනය කරගැනීම මඟින් අනතුරු රැසක් වළක්වාගත හැකි බව පොලිසිය අවධාරණය කරයි. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී ගමන් ගන්නා මගීන් නොදන්නා හෝ පාළු මාර්ග ඔස්සේ රැගෙන යාමට උත්සාහ කරන්නේ නම් සැලකිලිමත් විය යුතු අතර, ගමනාන්තයට ළඟා වන තෙක් තම සජීවී ස්ථානය (Live Location) විශ්වාසවන්ත අයෙකුට හුවමාරු කර ගැනීමට කටයුතු කළ යුතුය.
මගීන් සිහිසුන් කර දේපළ කොල්ලකෑමේ සිදුවීම් වාර්තා වී ඇති බැවින් ගමන අතරතුර නොදන්නා පුද්ගලයන් ලබාදෙන ආහාර, පාන වර්ග හෝ ජලය ලබාගැනීමෙන් සම්පූර්ණයෙන්ම වැළකිය යුතුය. මුදල්, ලැප්ටොප් සහ ස්වර්ණාභරණ වැනි වටිනා දෑ අනවශ්‍ය ලෙස ප්‍රදර්ශනය නොකිරීමට වගබලා ගත යුතු අතර, යම් සැකකටයුතු තත්ත්වයක් මතු වුවහොත් වහාම 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට හෝ 118 හදිසි තොරතුරු සේවයට දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලා සිටී.
















