අලි-මිනිස් ගැටුමට තාක්ෂණික විසඳුමක් ලෙස වනඅලින්ගේ සංචරණ රටා සෙවීම සඳහා ‘Misavanah’ නමින් නව මෘදුකාංගයක් සහිත විශේෂිත රේඩියෝ කරපටි (Radio Collars) පැළඳවීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ලෝක වනඅලි දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුමට තිරසර විද්‍යාත්මක විසඳුමක් සෙවීම සඳහා මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන (දෙවැනි අදියර) මඟින් මෙම සුවිශේෂී තාක්ෂණික ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ වනඅලින් 60 දෙනකු සඳහා විශේෂිත රේඩියෝ කරපටි පැළඳවීමට කටයුතු කර ඇති අතර, එමඟින් වනඅලින් ගමන් කරන මාර්ග සහ සංචරණ රටා නිවැරදිව හඳුනා ගැනීමට අවස්ථාව ලැබේ. එම දත්ත පදනම් කරගනිමින් අලිමංකඩවල් විවෘත කිරීම, කුළු වැව් ප්‍රතිසංස්කරණය කිරීම සහ ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීම වැනි ක්‍රියාකාරකම් ක්‍රමානුකූලව සිදු කිරීමට සැලසුම් කර ඇත. කෙන්යානු ජාතික පරිසරවේදී ටොඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් ගිරිතලේ වනජීවී පුහුණු මධ්‍යස්ථානයේ සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේදී වනජීවී නිලධාරීන් සඳහා මෙම මෘදුකාංගය භාවිත කරන ආකාරය පිළිබඳ විශේෂ පුහුණු වැඩසටහනක්ද පවත්වන ලදී.
















