මූල්‍ය ආයතනවලින් ලබාගෙන ඇති ණය මුදල් හේතුවෙන් රණවිරුවන් විශාල පිරිසක් දැඩි පීඩාවකට පත්ව ඇති බැවින්, ‘අපි වෙනුවෙන් අපි’ අරමුදලේ මුදල් යොදවා එම ණය මුදල් පියවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව ආරක්ෂක නියෝජ්‍ය ඇමැති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද විශේෂ අවධානයක් යොමු කර ඇති බව ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලුතිනන් කමාන්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මදුරංග මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසීය. කොවිඩ් වසංගත තත්ත්වය සහ පසුව ඇති වූ ආර්ථික පසුබිම තුළ මූල්‍ය ආයතන විසින් පොලී අනුපාත ඉහළ දැමීම ඇතුළු විවිධ හේතූන් මත රණවිරුවන් මෙම අර්බුදයට මුහුණ දී සිටින බවත්, ඔවුන් එම මූල්‍ය බරින් මුදා ගැනීම සඳහා අරමුදලේ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන යටතේ නිසි ක්‍රමවේදයක් සකස් කරමින් පවතින බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
















