සාර්ථක නවෝත්පාදනයන්ට නිසි පිළිගැනීමක් ලබා දීමත්, ඒවා ජාතික වටිනාකම් බවට පත් කිරීමට මඟ සැකසීමත් රජයේ මූලික අරමුණ බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික නව්‍යකරණ නියෝජිතායතනය (NIA) විසින් 2025 සහ 2026 වර්ෂයන්ට අදාළව නිර්මාණය කරන ලද ජාතික නව්‍යකරණ වාර්තා ද්විත්වය එළිදැක්වීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. රට පුරා සිදු වූ සැබෑ නව්‍යකරණයන් පිළිබඳ සංසිද්ධි 70කට අධික සංඛ්‍යාවක් මෙම වාර්තා තුළ ඇතුළත් වන අතර, නිෂ්පාදන, සේවා සහ තාක්ෂණ ලෙස සාර්ථකව වාණිජකරණය වූ නවෝත්පාදන රැසක් මෙහිදී ඉස්මතු කෙරිණි. එසේම, පර්යේෂකයන් සහ නව නිපැයුම්කරුවන් මුහුණ දෙන තාක්ෂණික බාධක මඟහරවා ගැනීම සඳහා ක්‍රියාත්මක ‘නවෝත්පාදන වවුචර් වැඩසටහන’ යටතේ සාර්ථක අයදුම්කරුවන් 11 දෙනෙකු වෙත මූල්‍ය ප්‍රදානයන් පිරිනැමීමද මෙහිදී සිදු කෙරිණි.
















