ගාසා තීරයේදී 2024 වසරේදී ඥාතීන් හය දෙනෙකු සමඟ ඝාතනයට ලක් වූ පස් හැවිරිදි පලස්තීන දැරිය වන හින්ද් රාජබ් ගමන් කළ මෝටර් රථයට තම හමුදා විසින් වෙඩි තැබූ බව ඊශ්රායල හමුදාව ප්රථම වරට නිල වශයෙන් තහවුරු කර තිබේ.
ඊශ්රායල ආරක්ෂක හමුදා (IDF) සඳහන් කරන්නේ, හින්ද් බේරා ගැනීමට ගිය පලස්තීන රතු ක්රසන්ට් සංගමයේ (PRCS) ගිලන්රථ සේවකයන් දෙදෙනෙකුගේ මරණ ඇතුළු මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි. අදාළ ප්රදේශයේ පූර්ව නිවේදනයකට පටහැනිව ගමන් කළ බවට සැකකළ වාහනයකට හමුදාව වෙඩි තබා ඇති බව ඊශ්රායල හමුදා පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ. ප්රහාරයෙන් පසු පැය ගණනක් දුරකථන ඔස්සේ උපකාර ඉල්ලා සිටි මෙම දැරියගේ සහ ගිලන්රථ සේවකයන්ගේ ඛේදනීය ඉරණම ලෝකයේ දැඩි කම්පාවට සහ පිළිකුලට හේතු විය.














