රටේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමේදී ධීවර ක්ෂේත්රයෙන් ලැබෙන දායකත්වය ඉතා ප්‍රධාන වන බැවින්, ධීවරයින් සඳහා රජය සියලු ආකාරයෙන්ම සහයෝගය ලබා දෙන බව ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසීය.
දිස්ත්‍රික් 15ක ධීවර කාර්යාල සඳහා අලුතින් බඳවා ගන්නා ලද ධීවර නිලධාරීන් 112 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවය කොළඹ පිහිටි තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර, ඊට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඉතා දැඩි ආර්ථික අර්බුදකාරී වාතාවරණයක් හමුවේ පාලනය භාරගත් වත්මන් රජය, පසුගිය වසර දෙක ඇතුළත යහපත් ලෙස කටයුතු කර ඇති බවට ජනතාව තුළ විශ්වාසයක් නිර්මාණය වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ධීවරයින්ට මෙතෙක් ඉතිහාසයේ ප්‍රථම වතාවට රුපියල් මිලියන 3,000ක ඉන්ධන සහනයක් ලබා දී ඇති බවද හෙතෙම සිහිපත් කළේය. නවක නිලධාරීන් වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, ඔවුන්ට ලැබී ඇති මෙම පත්වීම තානාපති තනතුරක් වැනි බැවින්, රජයේ ප්‍රතිපත්ති සහ සැලසුම් ජනතාව අතරට ගෙන යමින් ධීවරයින්ගේ ගැටලු විසඳීමට කටයුතු කළ යුතු බවයි.














