රට මුහුණ දී ඇති දැවැන්තම කෘෂි ආහාර පද්ධති සහ පෝෂණ අභියෝග සඳහා නව්‍ය විසඳුම් සෙවීම පිණිස විශ්වවිද්‍යාල සිසුන් ඉලක්ක කරගත් ජාතික තරුණ නවෝත්පාදන අභියෝගය නිල වශයෙන් දියත් කර ඇත. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), අධ්‍යාපන අමාත්‍යාංශය සහ හැටන් නැෂනල් බැංකුව (HNB) එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන හරහා තරුණ ප්‍රජාවගේ නිර්මාණශීලීත්වය රටේ තිරසාර සංවර්ධනයට දායක කර ගැනීමට අපේක්ෂා කෙරේ.
අද වන විට මෙරට කෘෂි ආහාර පද්ධතීන් තුළ පවතින පසු අස්වනු හානි, දේශගුණික ආතතීන්, අකාර්යක්ෂම ජල භාවිතය මෙන්ම වෙළඳපල ගැටලු වැනි සංකීර්ණ අභියෝග රැසකට සාර්ථකව මුහුණ දීම සඳහා විශ්වවිද්‍යාල සතුව පවතින පර්යේෂණ හා තාක්ෂණික විශේෂඥ දැනුම උපයෝගී කර ගැනීම මෙහි මූලික අරමුණ වී තිබේ. අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පෙන්වා දෙන්නේ උසස් අධ්‍යාපනය හරහා සිසුන්ගේ සැබෑ ලෝකයේ ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය කරමින් වඩාත් ඔරොත්තු දෙන ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට මෙමඟින් විශාල රුකුලක් ලැබෙනු ඇති බවයි.
සංකල්ප සටහන් කැඳවීමෙන් ආරම්භ වන මෙම බහු-අදියර තරඟාවලියේ අවසන් අදියරට පැමිණෙන හොඳම මූලාකෘති නිර්මාණකරුවන් 2026 ලෝක ආහාර දින ජාතික සැමරුම් උත්සවයේදී විනිශ්චය මණ්ඩලයක් සහ අනාගත ආයෝජකයින් ඉදිරියේ ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවේ. රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන්ට ජාතික මට්ටමේ වේදිකාවක් සපයන මෙම ප්‍රවේශය හරහා අනාගත කෘෂිකාර්මික හා ආර්ථික පද්ධතීන් ශක්තිමත් කළ හැකි ප්‍රායෝගික ව්‍යවසායකයන් පිරිසක් බිහිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.














