ශ්‍රී ලංකාවේ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතට (Anti-Corruption Act) ගෙන එන ලද නව සංශෝධන පනත් කෙටුම්පත මඟින් විශ්‍රාම ගිය පුද්ගලයන්ටද තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිමය ප්‍රතිපාදන සලසා දී ඇත.
පනතේ 90 වන වගන්තිය සංශෝධනය කරමින් හඳුන්වා දී ඇති මෙම නව ක්‍රමවේදය යටතේ, පුද්ගලයෙකුට තමන් විශ්‍රාම ලැබීමෙන් පසු වුවද තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබෙයි.
මීට අමතරව, වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේදී පුද්ගල පෞද්ගලිකත්වය (Privacy) ආරක්ෂා කිරීම සඳහා පනතේ 88 වන වගන්තිය සංශෝධනය කර තිබේ. වෙනත් පුද්ගලයෙකුගේ වත්කම් ප්‍රකාශයක සංස්කරණය කරන ලද පිටපතක් ලබා ගන්නා කිසිදු අයෙකු එය නීතිමය අවශ්‍යතා සඳහා හැර වෙනත් පෞද්ගලික අරමුණු සඳහා භාවිත කිරීම තහනම් වන අතර, එලෙස පෞද්ගලිකත්වය උල්ලංඝනය කරන පුද්ගලයන්ට මහේස්ත්‍රාත් අධිකරණයකදී වරදකරු වීමෙන් පසු රුපියල් එක් ලක්ෂයකට නොවැඩි දඩයකට හෝ වසරකට නොවැඩි සිර දඬුවමකට හෝ එම දඩ සහ සිර දඬුවම් දෙකටම යටත් වීමට සිදුවනු ඇත.
මෙම සංශෝධන පනත් කෙටුම්පතේ තවත් විශේෂාංගයක් වන්නේ, සාමාජිකයන් එක දහසකට වඩා වැඩි වෘත්තීය සමිති සඳහාද මෙම දූෂණ විරෝධී පනතේ නීති ක්‍රියාත්මක වීමයි. එසේම, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි සහ 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලිසංදේශ පනත යටතේ බලපත්‍ර ලබා ඇති මාධ්‍ය ආයතනවල හිමිකරුවන්, සභාපතිවරුන් සහ අධ්යක්ෂවරුන් සඳහාද මෙම නීති අදාළ වේ.














