2026 වර්ෂයේ අන්තර් පළාත් විෂය සම්බන්ධීකරණ සමුළුවේ දෙවන අදියර රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ සහභාගීත්වයෙන් අද (20) දින පෙරවරුවේ නාරාහේන්පිට නිල මැදුර ප්‍රධාන ශ්‍රවණාගාරයේදී ආරම්භ විය.
මෙහිදී පූර්ව රැස්වීමේ ප්‍රගතිය සමඟ පළාත් මට්ටමෙන් දිට්වා ආපදාවට අදාළ ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනය, පළාත් සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ ගැටලු සහ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමත් 2026 වර්ෂයේ ඉදිරි වැඩ සැලැස්ම පිළිබඳවත් සාකච්ඡා කිරීම සිදුවිය. එහිදී පළාත් සභාවලින් වෙනත් අමාත්‍යාංශ හා ආයතන වෙත යොමු කර තිබූ ගැටලු පිළිබඳව ද සාකච්ඡාවට ලක් වූ අතර වඩාත් ඵලදායී සංවර්ධන ක්‍රියාවලියක් සඳහා සම්බන්ධීකරණය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය සැලසුම් පිළිබඳව ද සාකච්ඡා විය.
සමුළුව ඇමතූ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසූයේ “දිට්වා” සුළි කුණාටුව සහ ගෝලීය දේශපාලන තත්ත්වය යන ආපදා දෙක හේතුවෙන් ඇතිවූ අර්බුද සහ මුහුණදීමට සිදුවූ දුෂ්කරතා වත්මන් කටයුතු කරගෙන යාමේදී ද විශාල වශයෙන් බලපා ඇති බවත් එවැනි තත්ත්වයක් තුළ පවා 2026 අයවැය මගින් ලැබී ඇති ප්‍රතිපාදන උපරිම ඵලදායීතාවකින් යුතුව භාවිතා කිරීම විශාල අභියෝගයක් වුවත් එම අභියෝගය ජයග්‍රහණය කිරීමට ආයතන සමත්වනු ඇතැයි බලාපොරොත්තු වන බවත්ය. එකම විෂය වෙනුවෙන් විවිධ ආයතන මැදිහත්වීම තුළ එම ආයතනවල අන්තර් සම්බන්ධතාව දුර්වල වීම හේතුවෙන් පළාත් සභාවල කටයුතු කිරීමේදී ද යම් යම් ගැටලු පැන නැගී ඇති අතර එවැනි තත්ත්වයන් ඇතිවීම අවම කරගැනීම සඳහා ද කටයුතු කිරීමේ අවශ්‍යතාව පවතින බව ද කෙසේ වෙතත් පවතින තත්ත්වයන් කළමනාකරණය කරගනිමින් වෙන්ව ඇති ප්‍රතිපාදන වඩා ඵලදායී ලෙස මහජනතාව වෙනුවෙන් යොදවාගන්නා ආකාරය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ යුතු බවට ද මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය.
සමුළුව ඇමතූ පළාත් සභා සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා ප්‍රකාශ කර සිටියේ ඉතිහාසයේ කවරදාකවත් නොතිබූ ලෙස දේශපාලන අධිකාරියත් රාජ්‍ය සේවයත් අතර සමීපව කටයුතු කිරීමක් වර්තමානයේ සිදුවෙමින් පවතින අතර සාකච්ඡාවල, සමුළුවල අරමුණ විය යුත්තේ සමාලෝචනයක් කර වාර්තාවක් සෑදීම පමණක් නොව සාකච්ඡාවල ප්‍රතිලාභ කොපමණ ජනාතාවට ලැබෙනවාද යන්නයි වැදගත් බවය. පළාතෙන් පළාතට පවතින පරිපාලන සහ නීතිමය විෂමතා ඉවත්කොට සෑම කටයුත්තක්ම ජාතික සැලැස්මක් යටතේ පොදු ප්‍රතිපත්තියක් අනුව යමින් සියළුම පළාත් එම ජාතික සැලැස්මට අනුකූලව සැලසුම් සකස් කිරීම හා ක්‍රියාත්මකවීම රජයේ බලාපොරොත්තුව වන අතර ඉතිහාසයේ කවර වැරදි වූවත් අනාගතයේ දී එවැනි දේ සිදු නොවිය යුතු බවත් ඉදිරියේදී ඇතිවීමට නියමිත එල් නීනෝ තත්ත්වයේ දී පවා රජය ලෙස විශාල මැදිහත්වීමක් මේ වන විටත් සිදුකරමින් සිටින බවත්, පළාත් මට්ටමින් ද ඇතිවිය හැකි තත්ත්වයන් කල් ඇතිව හඳුනාගෙන ඊට අවශ්‍ය මැදිහත්වීම සිදුකිරීමට විශේෂ අවධානයක් ලබා දිය යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.
මෙම සාකච්ඡා අවස්ථාවන්ට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්. ආලෝකබණ්ඩාර මහතා ඇතුළු සියලුම පළාත්වල ප්‍රධාන ලේකම්වරුන්, පළාත් පාලන කොමසාරිස්වරුන් සහභාගී වූහ. මෙහිදී එකිනෙක පළාත් සභා හා ඊට අදාළ ආයතන මගින් යොමු කරන ලද ගැටලු හා යෝජනා පිළිබඳව වගකිව යුතු අමාත්‍යාංශ හා ආයතන සමඟ සාකච්ඡා කිරීම ද සිදු වූ අතර ඒ සඳහා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් සහ වාරි වර්ග අමාත්‍යාංශය, අධ්‍යාපනය, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, ජාතික අයවැය දෙපාර්තමේන්තුව, රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුව, මුදල් කොමිෂන් සභාව, ප්‍රසම්පාදන කොමිෂන් සභාව, කළමනාකරණය සේවා දෙපාර්තමේන්තුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ආයුර්වේද දෙපාර්තමේන්තුව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව, මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරීන් සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.
















