ස්ත්‍රීන්, තරුණයින් සහ ළමුන් සේවයේ යෙදවීමේ සංශෝධන පනත් කෙටුම්පත කිසිදු සංශෝධනයකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත කරගෙන ඇත.
අදාළ පනත් කෙටුම්පත අද (අගෝස්තු 20) පාර්ලිමේන්තුවේදී දෙවන වර කියවා විවාදයට ගැනීමෙන් අනතුරුව මෙලෙස සම්මත විය. 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ වන වැරදි සඳහා දැනට පවතින දඩ මුදල් ප්‍රමාණයන් රුපියල් 10,000 සිට රුපියල් 100,000 දක්වා ඉහළ දැමීම මෙම සංශෝධන පනත් කෙටුම්පත මඟින් යෝජනා කර තිබිණි.
1956 අංක 47 දරන මුල් පනත මඟින් වයස අවුරුදු 16ට අඩු ළමයින් කිසිදු සේවයක යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, වයස අවුරුදු 16 ට වැඩි එහෙත් අවුරුදු 18 ට අඩු තරුණ පිරිස් සේවයේ යෙදවීමේදී සේවා යෝජකයන් විසින් අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු විශේෂ රෙගුලාසි සහ කොන්දේසි රැසක්ද මෙම පනත මඟින් පනවා ඇත.
















