ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ස්වර්ණාභරණ ආයතනයක් වන ‘වෝග් ජුවලර්ස්’ හි නව සන්නාම තානාපතිවරයා ලෙස ලෝක ප්‍රකට ක්‍රිකට් පුරාවෘත්තයක් වන කුමාර සංගක්කාර මහතා පත් කර තිබේ.
විශිෂ්ටත්වය, අඛණ්ඩතාව සහ උසස්ම ප්රමිතීන් වෙනුවෙන් පෙනී සිටින නාමයන් දෙකක් එකතු වීමක් ලෙස මෙම හවුල්කාරීත්වය හැඳින්විය හැක. දශක හයකට අධික කාලයක් පුරා විශ්වාසය, විශිෂ්ට අත්කම් නිර්මාණ සහ ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් කීර්තියක් දිනා ඇති වෝග් ජුවලර්ස්, මෙරට ස්වර්ණාභරණ කර්මාන්තය ජාත්‍යන්තර මට්ටමට රැගෙන යමින් ජාත්‍යන්තර සම්මාන රැසක් දිනා ඇත.
මෙම නිල ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් වෝග් ජුවලර්ස් කළමනාකාර අධ්යක්ෂ අනුර හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ, කුමාර සංගක්කාර සහ වෝග් ජුවලර්ස් යනු ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය ගමන් මං දෙකක් බවත්, අඛණ්ඩ කැපවීම සහ විශිෂ්ටත්වය මත මෙම එකමුතුව ගොඩනැගී ඇති බවත්ය. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර නව ප්රදර්ශනාගාරයක් විවෘත කරමින් ජාත්‍යන්තර වෙළඳපොළට පිවිස සිටින මොහොතක මෙම හවුල්කාරීත්වය ඉතා වැදගත් සන්ධිස්ථානයක් වනු ඇත.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් වෝග් ජුවලර්ස් ආයතනය විසින් කුමාර සංගක්කාර මහතාට උපහාරයක් ලෙස විශේෂයෙන් නිර්මාණය කරන ලද රන් ක්‍රිකට් පිත්තක්ද පිළිගන්වන ලදී.
















