‘මානව-රොබෝ සහජීවනය, නිෂ්පාදන හා ඉල්ලුම් සම්බන්ධීකරණය’ යන තේමාව මුල් කරගනිමින් 2026 ලෝක රොබෝ සමුළුව චීනයේ බෙයිජිං හිදී නිල වශයෙන් ආරම්භ වී තිබේ. ගෝලීය රොබෝ විද්‍යා ක්ෂේත්රයේ නවතම සොයාගැනීම් සහ නිෂ්පාදන ලොවට එළිදැක්වීමත්, තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීමට පසුබිම සකස් කිරීමත් මෙම පස්දින සමුළුවේ ප්‍රධාන අරමුණ වී ඇත. එමෙන්ම සාමාන්‍ය ජනතාවට අධි තාක්ෂණික රොබෝ තාක්ෂණය පිළිබඳව සෘජු අත්දැකීමක් සහ අවබෝධයක් ලබාදීමට ද මෙහිදී විශේෂ අවස්ථාවක් හිමිවේ.
ජාත්‍යන්තර සංවිධාන 30 ක සහයෝගය ඇතිව පැවැත්වෙන මෙවර සමුළුවට ප්‍රධාන සාකච්ඡා මණ්ඩප, ප්‍රදර්ශන සහ විවිධ ක්‍රියාකාරකම් 70 ක් ඇතුළත් වේ. මෙවර සමුළුව සඳහා රොබෝ නිෂ්පාදන ව්‍යාපාර 300 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන අතර, එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 69 ක දැවැන්ත වර්ධනයකි. ප්‍රදර්ශනයට තබා ඇති සමස්ත නිෂ්පාදන සංඛ්‍යාව 3000 ඉක්මවන අතර, ඒ අතුරින් නිෂ්පාදන 300 කට වැඩි ප්‍රමාණයක් ප්‍රථම වරට ලෝකයට එළිදැක්වෙන නවතම අංග වීම විශේෂත්වයකි.
මෙවර සමුළුවේදී ‘රොබෝ ප්ලස් භාවිතයන්’ වෙනුවෙන්ම විශේෂිත ප්‍රදර්ශන කලාප හතරක් වෙන් කර ඇති අතර රොබෝ නිෂ්පාදන ක්‍රියාවලිය, ආහාර හා සිල්ලර අලෙවිය, වෛද්‍ය හා සෞඛ්‍ය සේවා මෙන්ම හදිසි ආපදා කළමනාකරණ සේවාවන්හිදී රොබෝ තාක්ෂණය ප්‍රායෝගිකව භාවිත කරන ආකාරය පිළිබඳ සමස්ත ක්‍රියාවලියම එමගින් සජීවීව ප්‍රදර්ශනය කෙරේ.
















