ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් (Sunshine Holdings), 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 18.5ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර තිබේ. එය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 16.6%ක කැපී පෙනෙන වර්ධනයකි.
මෙම ඉහළ ආදායම් වර්ධනය සඳහා සමූහයේ විවිධාංගීකරණය වූ ව්‍යාපාරික අංශ මෙන්ම, Joint Agri Products Ceylon (JAPC) සමාගමේ බහුතර කොටස් හිමිකාරිත්වය අත්පත් කර ගැනීමද ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.
මුළු ආදායමෙන් 49.2%ක දායකත්වයක් ලබා දෙමින් සුව සේවා අංශය පෙරමුණ ගත් අතර, පාරිභෝගික අංශය සහ කෘෂි ව්‍යාපාර අංශය පිළිවෙළින් 35.6%ක් සහ 15.2%ක් ලෙස දායකත්වය සපයා ඇත. ඖෂධ මිල නියාමන බලපෑම් සහ සැපයුම් දාමයේ අභියෝග මධ්‍යයේ වුවද, සමූහයේ බදු පසු ලාභය (PAT) පසුගිය වසරට සාපේක්ෂව 6.0%කින් රුපියල් බිලියන 1.4ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම කාර්තුවේදී Sunshine Healthcare Lanka Ltd සහ ඉන්දියාවේ Zydus Lifesciences Ltd ආයතනය එක්ව ‘Zydus Sunshine Lifesciences’ නමින් නව හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන ලද අතර, ඒ හරහා හොරණ අපනයන සැකසුම් කලාපය තුළ නවීන ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවක් ඉදිකිරීමට නියමිතය. සමූහයේ ප්‍රධාන ව්‍යාපාරික අංශවල ලාභාන්තිකයන් කෙරෙහි විවිධ අභියෝග එල්ල වුවද, තම විවිධාංගීකරණය වූ ව්‍යාපාරික ආකෘතියේ ශක්තිය මත ඉදිරියටත් දේශීය නිෂ්පාදන ක්ෂේත්රය නංවාලීමට සහ තිරසාර වටිනාකමක් ගොඩනැඟීමට කටයුතු කරන බව සමූහ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම් මහතා පවසා ඇත.
















