මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව අමාත්‍ය මණ්ඩලයට කඩිනමින් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කර තිබේ.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, නව මැගසින් බන්ධනාගාරය සහ වැලිකඩ බන්ධනාගාරවල නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව, මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන් සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් මාස දහයක අධ්‍යයනයකින් පසු මෙම වාර්තාව ලබා දී ඇත.
ජනාධිපති සමාව ලබාදීමේ විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම, මරණ දඬුවම විඳින සිරකරුවන්ට එම දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලෙස වෙනස් කිරීම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින රැඳවියන්ගේ දඬුවම් කාලය වසර 20ක් දක්වා අඩු කිරීම සහ රැඳවියන්ට නිවාස නිවාඩු ලබාදීම යන ප්‍රධාන නිර්දේශ මෙම කමිටුව විසින් ඉදිරිපත් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
















