වසරේ මේ දක්වා කාල සීමාව තුළ දිවයින පුරා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 93,381 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 71ක් වන අතර, රෝගී මරණ අනුපාතය 0.076%ක් ලෙස සටහන් වේ.
අගෝස්තු මාසයේ ගතවූ දින 20ක කාලය තුළ පමණක් දිවයින පුරා ඩෙංගු රෝගීන් 8,043 දෙනෙකු වාර්තා වී ඇත. ජූලි මාසයේදී වාර්තා වූ රෝගීන් 29,964 සහ ජූනි මාසයේදී වාර්තා වූ රෝගීන් 21,533 හා සසඳන විට මෙම මාසයේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බවද සඳහන් වේ. කෙසේ වෙතත්, සමස්ත රෝගීන්ගෙන් 52.94%ක්ම (රෝගීන් 49,440ක්) බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, දිස්ත්‍රික්ක මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් (19,888ක්) සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් (18,535ක්) වාර්තා වී ඇත. දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 76ක් තවදුරටත් අධි-අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බැවින්, මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කරමින් පරිසරය පිරිසිදුව තබා ගැනීමටත්, උණ රෝගී තත්ත්වයක් පවතින්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමටත් සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.














