ශ්‍රී ලංකාව කලාපීය නාවික හා ලොජිස්ටික් මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ ලෝක බැංකු සමූහයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති මෙම සාකච්ඡාව සඳහා ලෝක බැංකුව වෙනුවෙන් ප්‍රායෝගික කළමනාකාරිණී ජෙන් ජුන්ග්ඉයුන් ඕ (Ms. Jen JungEun Oh) සහ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිලධාරී ස්ටෙෆන් මැසිං (Mr. Stephan Massing) යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක් වූහ.
මෙහිදී මැදපෙරදිග කලාපයේ පවතින භූ-දේශපාලනික තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාවට උදා වී ඇති නව අවස්ථා ප්‍රයෝජනයට ගැනීම පිළිබඳවත්, වරාය ආයෝජන ක්‍රියාවලීන් වඩාත් විනිවිදභාවයෙන් සහ වාණිජමය වශයෙන් ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා ලෝක බැංකු විශේෂඥ උපදෙස් හා මූල්‍ය ආධාර ලබාගැනීම පිළිබඳවත් සාකච්ඡා කර ඇත. තවද රේගු ක්‍රියාවලියන් වේගවත් කිරීම, ආයෝජන දිරිගැන්වීම, බෝයි (BOI) ක්‍රියාවලියන් වැඩිදියුණු කිරීම සහ අන්තර් අමාත්‍යාංශ කමිටුවක් හරහා ජාතික ලොජිස්ටික් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.
















