දිවංගත ප්‍රවීණ ගායන ශිල්පිනී, ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අවසන් කැමති පත්‍රයේ සඳහන් උපදෙස් අනුව ඇයගේ අවමංගල්‍ය කටයුතු ඉතා චාම් අයුරින් සිදු කිරීමට පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් තීරණය කර ඇති බව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පවසයි. ජීවිතය පුරාම ඉතා සරල චාම් දිවි පෙවෙතකට ඇලුම් කළ ඇය, තම දේහය නිවසින් බැහැරව වෙනත් කිසිදු පොදු ස්ථානයකට හෝ ප්‍රසිද්ධ ශාලාවකට රැගෙන නොයන ලෙස සිය අවසන් කැමති පත්‍රයෙන් දැඩිව ඉල්ලා තිබේ. එපමණක් නොව, කිසිදු උත්සවශ්‍රීයකින් තොරව, අවමංගල්‍ය සභා පැවැත්වීමෙන්, ගුණකථන සිදු කිරීමෙන් හෝ ශෝක ප්‍රකාශ කීමෙන් තොරව අවමංගල්‍ය කටයුතු සිදු කරන ලෙසද ඇය දන්වා ඇත. ඒ අනුව, නාවල, විජයබා මාවතේ පිහිටි ඇයගේ නිවසේ තැන්පත් කර තිබෙන දේහය, හෙට (22) සෙනසුරාදා පස්වරු 3.30 ට එතნიින් බැහැර කර බොරැල්ල කනත්ත වෙත රැගෙන ගොස් ආදාහන කටයුතු සිදු කිරීමට නියමිතය.














