ශ්‍රී ලංකාවේ නැවුම් පළතුරු අපනයනයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙරට නිෂ්පාදිත නැවුම් අන්නාසි අඩි 20ක ප්‍රථම කන්ටේනරය පකිස්තාන වෙළඳපොළ වෙත අපනයනය කිරීම සඳහා අද (අගෝස්තු 21) සාර්ථකව ඇසුරුම් කර තිබෙනවා. ප්‍රමුඛ පෙළේ අපනයන සමාගමක් වන සී ආර් එක්ස්පෝර්ට්ස් (පුද්ගලික) සමාගම විසින් මෙම තොගය අපනයනය කර ඇත.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, දෙරටේ මහ කොමසාරිස් කාර්යාල, වාණිජ දෙපාර්තමේන්තුව මෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ජාතික ශාක නිරෝධායන සේවයේ තාක්ෂණික සහයෝගයෙන් මෙම වෙළඳපොළ ප්‍රවේශය හිමි වී තිබේ. මිලියන 252ක පමණ ජනගහනයක් සහිත පකිස්තානය වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 10ක පමණ අන්නාසි ආනයනය කරන රටක් වන අතර, මෙරට අන්නාසිවල ඇති සුවිශේෂී රසය හා ගුණාත්මකභාවය නිසා මෙම වෙළඳපොළෙන් විශාල කොටසක් හිමිකර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම අපනයන ක්‍රියාවලිය සඳහා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) සහතික ලත් වගාබිම් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නිෂ්පාදකයින් පමණක් සම්බන්ධ කරගෙන ඇති අතර, අන්නාසිවලට අමතරව ඉදිරියේදී අලිගැටපේර සහ දොඩම් වැනි නිෂ්පාදන ද පකිස්තාන වෙළඳපොළට හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ.














