පෞද්ගලික බැංකුවක පොදු ලෙජර් ගිණුම හරහා බිලියන 13කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියට අදාළව, එම බැංකුවේ තිබූ පාරිභෝගික ගිණුම්වලින් මිලියන 314.5ක මුදලක් ප්රතිපූර්ණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම හමුවේ දන්වා තිබේ.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, සිද්ධියට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් ලබන 4 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්රාත්වරයා නියෝග කළ අතර, පස්වන සැකකරු ඇප මත මුදා හැර ඇත. වංචාවට ලක් වූ බිලියන 13.5 ක මුදලින්, පෞද්ගලික බැංකුවේ පාරිභෝගික ගිණුම් එකොළහකින් මිලියන 314.5 ක මුදලක් ප්රතිපූර්ණය වී ඇති බවත් ඒ පිළිබඳ විමර්ශන සිදුවන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට සඳහන් කළේය.
මෙහිදී මහේස්ත්රාත්වරයා නියෝග කළේ පාරිභෝගිකයන්ගේ ගිණුම් හරහා මුදල් හුවමාරු වීම සම්බන්ධයෙන් බැංකුවේ ඉහළ නිලධාරීන් නොදන්නේද යන්න ගැන විමර්ශනයක් කරන ලෙසත්, පාරිභෝගිකයන්ගේ ගිණුම්වලින් මුදල් ප්රතිපූර්ණය වීම සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත්ය.














