ඉරානය සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලට බාධා පමුණුවන්නේ නම්, අමෙරිකාවේ සමීපතම මිත්‍ර රටක් වන ඕමානයට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇතැයි BBC පුවත් සේවය වාර්තා කරයි. Fox News නාලිකාව සමඟ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම මතභේදාත්මක ප්‍රකාශය සිදු කර තිබේ.
ලෝක ආර්ථිකයට අතිශය වැදගත් වන හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව සහ ඕමානය වෙන් වෙන් වශයෙන් ඉරානය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින පසුබිමක මෙම තර්ජනය එල්ල වී තිබේ. ඕමානය මෙම ගැටුමේදී මධ්‍යස්ථ රටක් ලෙස පෙනී සිටින අතර, මුහුදු මාර්ගය විවෘත කිරීම සඳහා ඉරානය සමඟ සාර්ථක එකඟතාවකට පැමිණීමට ආසන්න බව ඉරාන බලධාරීන් පවසා තිබුණි. කෙසේ වෙතත්, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සමඟ තමන්ට සෘජු සබඳතාවක් පවතින බව ට්‍රම්ප් එම සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇති නමුත්, ඉරාන පාර්ශ්වය එය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇත.














