ශ්‍රී ලංකාවේ මෝර මත්ස්‍ය කර්මාන්තය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව විධිමත්ව පවත්වාගෙන යාම සහ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්තගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇත. මෙහිදී බහුදින ධීවර යාත්‍රාවලින් ‘අතුරු අස්වැන්නක්’ ලෙස මෝර මසුන් අල්ලා ගැනීම සිදුකෙරෙන අතර, එම මසුන්ගේ වරල්, කරමල්, හකු සහ හම් මෙන්ම සජීවී විසිතුරු මෝර මත්ස්‍ය විශේෂ අපනයනය කිරීම මගින් මෙරටට සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් හිමිවන බව නිලධාරීන් පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත්, මෝර මසුන් ලෝකයේ වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින මත්ස්‍ය විශේෂයක් ලෙස සැලකෙන බැවින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මෙම කර්මාන්තය කළමනාකරණය කිරීමේ දැඩි අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කෙරුණු අතර, මේ වන විටත් මෙරට තුළ ඇල්ලීම තහනම් කර ඇති මෝර විශේෂ ආරක්ෂා කිරීමටත්, නීත්‍යානුකූලව අවසර ඇති මෝර විශේෂ පමණක් අපනයනය කිරීමටත් රජය දැඩි පියවර ගෙන තිබේ.














