සෝමාලියාවට ලැබෙන විදේශීය මානුෂීය ආධාර දැවැන්ත ලෙස කප්පාදු කිරීම හේතුවෙන් එරට සෞඛ්‍ය සහ පෝෂණ මධ්‍යස්ථාන රැසක් වැසී යාමේ තර්ජනයට ලක්ව ඇති අතර, එමගින් වසර තුළ සෝමාලියානු දරුවන් ලක්ෂ 19 කට ආසන්න පිරිසක් දැඩි මන්දපෝෂණ අර්බුදයකට මුහුණ දීමේ අවදානමක් මතුව ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) අනතුරු අඟවයි. ආධාර හිඟකම නිසා මේ වන විටත් සෞඛ්‍ය මධ්‍යස්ථාන 205 ක් වසා දමා ඇති අතර, ඉදිරියේදී සමස්ත රට පුරාම සෞඛ්‍ය මධ්‍යස්ථාන 618 ක් පමණ වැසී යාමේ අවදානමක් පවතින බව යුනිසෙෆ් මාධ්‍ය ප්‍රකාශක ජේම්ස් එල්ඩර් (James Elder) ප්‍රකාශ කළේය.
මෙම අර්බුදය හේතුවෙන් දැඩි ලෙස මන්දපෝෂණයට ලක්වූ දරුවන් රෝහල්ගත කිරීමේ ප්‍රතිශතය 32% කින් ඉහළ ගොස් ඇති අතර, සෞඛ්‍ය මධ්‍යස්ථාන වැසී යාම නිසා ප්‍රතිකාර ලබා ගැනීමට දරුවන් රැගෙන යාමට සිදුවන දුර ප්‍රමාණය වැඩිවීමෙන් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට ද අනතුරු අඟවා තිබේ. ඇමෙරිකාව සහ අනෙකුත් බටහිර රටවල් සෝමාලියාවට ලබා දෙන ආධාර 80% කට වඩා කප්පාදු කර ඇති අතර, පවතින දැඩි වියළි කාලගුණය, ගැටුම් සහ පවුල් අවතැන්වීම් හමුවේ මෙම තත්ත්වය තවදුරටත් අතිශය භයානක මුහුණුවරක් ගෙන ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














