ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං උන් අතර නැවතත් සාකච්ඡාවක් පැවැත්වීමට ඇමෙරිකාව උත්සාහ කරමින් සිටියද, උතුරු කොරියාව ඊට තදින් කොන්දේසි පනවා ඇති බව වාර්තා වේ. දෙරට අතර සබඳතා යථා තත්ත්වයට පත් කරගැනීම සඳහා එක්සත් ජනපද-දකුණු කොරියානු හමුදා අභ්‍යාස සීමා කිරීමට ට්‍රම්ප් පියවර ගෙන තිබුණ ද, උතුරු කොරියානු නායකයාගේ බලගතු සොහොයුරිය වන කිම් යෝ ජොං (Kim Yo Jong) ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකාවේ සතුරු පිළිවෙත තවමත් වෙනස් වී නොමැති බවයි.
නායකයන් අතර පෞද්ගලික මිත්‍රත්වයක් පැවතුණද, එය උතුරු කොරියාවේ ජාතික ආරක්ෂාවට හෝ හමුදාමය ශක්තිය වර්ධනය කිරීමේ සැලසුම්වලට ඉහළින් තැබිය නොහැකි බව ඇය අවධාරණය කළාය. විදෙස් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ උතුරු කොරියාව සාකච්ඡා සඳහා පැමිණීමට නම් තම රට න්‍යෂ්ටික බලවතෙකු ලෙස පිළිගැනීම හෝ සම්බාධක ඉවත් කිරීම වැනි දැඩි කොන්දේසි සපුරාලීමට ඇමෙරිකාවට සිදුවනු ඇති බවයි. කෙසේ වෙතත්, රුසියාව සහ චීනය සමඟ පවතින සබඳතා ශක්තිමත් වීම නිසා උතුරු කොරියාවට ඇමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට පෙර මෙන් හදිසි අවශ්‍යතාවයක් නොමැති බව ද පැවසෙයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














