රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේ මහතාගේ රැඳවුම් නියෝගය (Detention Order) තවදුරටත් දීර්ඝ නොකරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ එස්.බී.එම්.එස්.බී. සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත හදිසි මානුෂීය ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.
අගෝස්තු 20 වැනි දිනැති ලිපියක් මගින් ඇය පෙන්වා දෙන්නේ තම ස්වාමිපුරුෂයා දැනට දැඩි ලෙස හෘදයාබාධයකින් පෙළෙන බවත්, ඔහු හෘදයාබාධ සත්කාර ඒකකයේදී විශේෂිත ශල්‍යකර්මයකට (ICD යන්ත්‍රයක් සවිකිරීමට) ලක්ව ඇති බැවින් ඔහුගේ ජීවිතයට දැඩි අවදානමක් පවතින බවත්ය. එබැවින් වත්මන් රැඳවුම් නියෝගය අවසන් වීමට ඉඩ හැර, ඔහු බන්ධනාගාර රක්ෂිත අත්අඩංගුවට පත්කර අධිකරණ අධීක්ෂණය යටතේ රෝහල් ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන ලෙස ඇය ආරක්ෂක අමාත්‍යවරයා ද වන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
විමර්ශන කටයුතුවලට බාධා කිරීමට කිසිදු අදහසක් නොමැති බවත්, පූර්ණ සහයෝගය ලබාදීමට සූදානම් බවත් පවසන ඇය, මානුෂීය පදනම මත පිහිටා ඔහුගේ ජීවිතය සුරක්ෂිත කිරීමට වහා මැදිහත් වන ලෙස ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
















