තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 550 ග්‍රාම නිලධාරී වසමට අයත් සෙම්බුකුලම වැව යටතේ මේ වන විට වගා කර ඇති යල කන්නයේ කුඹුරු අක්කර 70න් අක්කර 30කට ආසන්න ප්‍රමාණයක් දැඩි කීඩෑ උවදුරක් හේතුවෙන් විනාශ වී යමින් පවතින බව සෙම්බුකුලම ගොවීහු පවසති. පවතින වියළි කාලගුණය සහ දැඩි සුළං තත්ත්වය නිසා මෙම කීඩෑ ව්‍යාප්තිය පාලනය කරගත නොහැකි ලෙස යාය පුරා වේගයෙන් පැතිර යන බව ගොවීහු පෙන්වා දෙති. අස්වැන්න නෙළීමට තවත් දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී එල්ල වූ මෙම පළිබෝධ හානිය නිසා කුඹුරු යායේ ගොයම් ගස් වියැළී, වී කරල් බොල් වී යමින් පවතියි. නියඟයෙන් වගාව බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරූ බව පවසන ගොවීන්, නියඟයෙන් හානි වූ වගාවන් සඳහා රජයෙන් වන්දි ලබාදීමට තීරණය කර ඇති පසුබිමක, මෙම කීඩෑ උවදුරෙන් විනාශ වන වගාවන් සඳහාද සාධාරණ වන්දි මුදලක් ලබාදීමට බලධාරීන් කඩිනමින් කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.
















