බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි පොලිස් නිෂ්කාශන අංශයේ පරිගණකගත පද්ධතියේ ඇති වූ බිඳවැටීමක් හේතුවෙන්, පොලිස් නිෂ්කාශන සහතික (Police Clearance Certificates) ලබා ගැනීම සඳහා තාවකාලික ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.
පසුගිය බ්‍රහස්පතින්දා (20) දහවල් සිට මෙම පරිගණක පද්ධතිය අක්‍රීය වී ඇති අතර, ඒ හේතුවෙන් අයැදුම්පත් භාරගැනීම, පසුබිම් පරීක්ෂණ සහ සහතික නිකුත් කිරීමේ කටයුතුවලට බාධා මතු වී ඇත. පද්ධතිය යථා තත්ත්වයට පත් වන තෙක්, ශ්‍රී ලංකා පොලිස් නිල වෙබ් අඩවියට පිවිස “Download Application” හරහා අදාළ අයැදුම්පත බාගත කරගත හැක.
සම්පූර්ණ කරන ලද අයැදුම්පත, ජාතික හැඳුනුම්පතේ සහ ගමන් බලපත්‍රයේ පිටපත් සමඟ [email protected] වෙත විද්‍යුත් තැපෑලෙන් (Email) යොමු කරන ලෙස පොලිසිය දන්වා සිටී. මෙම තාවකාලික ක්‍රමය යටතේ අයැදුම්පත් ඉදිරිපත් කිරීමේදී කිසිදු ගෙවීමක් අවශ්‍ය නොවන අතර, පද්ධතිය යථා තත්ත්වයට පත් වූ පසු අදාළ ගෙවීම් කර ඔන්ලයින් ක්‍රමයට නැවත අයැදුම්පත් ඉදිරිපත් කළ යුතුය.
මීට පෙර අයැදුම් කර ඇති අය අතරින් සහතික නිකුත් කළ හැකි අයගේ යොමු අංක (Reference numbers) පොලිස් වෙබ් අඩවියේ පළ කරන අතර, එම අංක හිමි අයට සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඇතුළුව බත්තරමුල්ල සුහුරුපාය හි පිහිටි පොලිස් නිෂ්කාශන අංශයෙන් සහතික ලබාගත හැක. පද්ධතිය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් පවතින බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.














