ඉරානයට අමෙරිකාව සමඟ ගිවිසුමකට පැමිණීමට අවශ්‍යතාවක් තිබුණද, වොෂින්ටන් නගරය අපේක්ෂා කරන කොන්දේසිවලට එකඟ වීමට ඔවුන් තවමත් සූදානම් නැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. දකුණු කැරොලිනාවේ මර්ට්ල් බීච් වෙත පිටත්ව යාමට පෙර ඇන්ඩෲස් ඒකාබද්ධ කඳවුරේදී මාධ්‍යවේදීන් හමුවෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කරන ආර්ථික ක්‍රියාමාර්ග මඟින් අමෙරිකාවේ යුධමය විකල්ප සීමා වී ඇති බවක් නොපෙන්වන බව පැවසූ ට්‍රම්ප්, ඉරානයේ මුදල්, නාවික හමුදාවක් හෝ ගුවන් හමුදාවක් නොමැති බවත්, සොල්දාදුවන්ට සහ පොලිසියට වැටුප් ගෙවීමට නොහැකි වී ඇති බවත් සඳහන් කළේය. එසේම, හෝමූස් සමුද්‍ර සන්ධිය ඇතුළු කලාපය සම්පූර්ණයෙන්ම අමෙරිකාවේ පාලනය යටතේ පවතින බවද ඔහු අවධාරණය කළේය.
මෑතකදී ඉරානයට එරෙහිව “මේ දක්වා ගත් දැවැන්තම ආර්ථික මෙහෙයුම” ප්‍රකාශයට පත් කළ ට්‍රම්ප්, තෙල් ජාවාරම් ජාල, මූල්‍ය හුවමාරු සහ ඉදිරි සමාගම් (Front companies) ඉලක්ක කරමින් මෙම ආර්ථික සම්බාධක ක්‍රියාත්මක කරන බව පැවසීය. කෙසේ වෙතත්, අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම නව ආර්ථික පීඩන උත්සාහය අසාර්ථක වන බවට ඉරාන විදේශ අමාත්‍ය සෙයියද් අබ්බාස් අරාචි (Seyed Abbas Araghchi) ප්‍රතිචාර දක්වා තිබේ.













