ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලිනියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය, නන්දා මාලිනියගේ නිර්මාණ තම පරම්පරාවේ ජීවිත සහ සමාජ දැක්ම කෙරෙහි බලපෑ ආකාරය පිළිබඳව අදහස් දැක්වීය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, නන්දා මාලිනිය යනු හුදෙක් ගායිකාවක පමණක් නොව, තම පරම්පරාවේ හෘද සාක්ෂිය සහ ජීවන අත්දැකීම් ඇයගේ හඬින් ප්රතිරාවය කළ සුවිශේෂී කලාකාරිනියක බවයි. “අපි හැදුණේ වැඩුණේ වගේම විවිධ සමාජ අරගලවලට සම්බන්ධ වුණේ ඇයගේ ගීතවලින් ලැබුණු පන්නරය සහ ශක්තිය ඇතිවයි. රසිකාවියක ලෙස ඇයගේ නික්මයාම විශාල අඩුවක් සහ වේදනාවක් ලෙස දැනෙනවා,” යැයි අගමැතිනිය වැඩිදුරටත් පැවසුවාය. කලාකරුවෙකුගේ භෞතික ජීවිතය අවසන් වුවද, ඔවුන් ඉතිරි කර යන උසස් කලාත්මක නිර්මාණ තවත් පරම්පරා ගණනාවක් පුරා ජීවමානව පවතින බවද ඇය අවධාරණය කළාය.















