හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබේ. රුපියල් කෝටි 22කට අධික රජයේ මුදල් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීම සහ විශ්වාසය කඩකිරීම සම්බන්ධ චෝදනා මත ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවෙයි.
නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි සුගීෂ්වර බණ්ඩාර මහතා මෙලෙස රෝහල්ගත කර ඇත්තේ ඔහුගේ පාදයේ පැවති ‘වෙරිකෝස්’ (Varicose) තත්ත්වය උත්සන්න වී නහරයක් පුපුරා යාම හේතුවෙනි. නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණහොත් දරුණු බැක්ටීරියා ආසාදනයක් වර්ධනය වී පාදය ඉවත් කිරීමට පවා සිදුවීමේ බරපතළ අවදානමක් පවතින බවට ඔහුගේ නීතිඥවරුන් අධිකරණය හමුවේ පෙන්වා දී තිබුණි. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ (21) පස්වරුවේ ඔහුව බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
















