ශ්‍රී ලංකාවේ ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොඩ්කාස්ටර්වරුන්ගේ සංගමය (The Podcasters’ Association of Sri Lanka) විසින් සංවිධානය කරන ලද සමුළුවක් අගෝස්තු 20 වන දින කොළඹ ග්‍රැන්බෙල් හෝටලයේදී පැවැත්විණි.
“නව මාධ්‍ය භූමිය ගවේෂණය කිරීම” මැයෙන් පැවති මෙම සමුළුව සඳහා පොඩ්කාස්ටර්වරුන්, ඩිජිටල් අන්තර්ගත නිර්මාණකරුවන් සහ මාධ්‍ය වෘත්තිකයන් 100කට අධික පිරිසක් සහභාගී වූහ. එහිදී ස්වාධීන නිර්මාණකරුවන් සහ සාම්ප්‍රදායික මාධ්‍ය අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ වැදගත්කම සංගමයේ සභාපති නාමිනි පණ්ඩිත මහත්මිය අවධාරණය කළාය. වැඩෙන නිර්මාණකරුවන්ගේ ආර්ථිකයට සහාය වීමට සහ ඩිජිටල් මාධ්‍ය තුළ තිරසාර වෘත්තීයබවක් පෝෂණය කිරීමට රජය කැපවී සිටින බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය කෞශල්‍යා අරියරත්න මහත්මිය ප්‍රකාශ කළ අතර, ඩිජිටල් ව්‍යවසායකත්වය, මුදල් ඉපැයීමේ ක්‍රම, ප්‍රේක්ෂක වර්ධනය, බුද්ධිමය දේපළ, පෞද්ගලිකත්වය සහ දත්ත ආරක්ෂාව යන මාතෘකා සම්බන්ධයෙන් ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
















