දිවයින පුරා පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශවල ජල මට්ටම සියයට 35.9ක් දක්වා පහළ ගොස් ඇත. විශේෂයෙන්ම අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල පිහිටි ජලාශවල ජල මට්ටම අවම අගයකට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්යක්ෂ එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා සඳහන් කරයි.
මේ වන විට යල කන්නයේ වගා කටයුතු අවසන් අදියරේ පවතින බැවින් පවතින ජල ප්‍රමාණය වගාවන්ට සහ ඉදිරි වැසි කාලය (ඔක්තෝබර්, නොවැම්බර් මාස) දක්වා පානීය ජල අවශ්‍යතාවට ප්‍රමාණවත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, අධික උෂ්ණත්වය සහ සුළං සහිත කාලගුණය නිසා ජලාශවලින් සිදුවන ජල වාෂ්පීකරණය අපේක්ෂිත මට්ටමට වඩා වැඩි වී ඇති බැවින්, දෛනික හා වගා කටයුතු සඳහා ඉතා අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන ලෙස අධ්යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙයට අමතරව, පවතින දැඩි වියළි කාලගුණය නිසා ජලය සපයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් තිරප්පනේ පිත්තල කොන්ඩෑරුම ප්‍රදේශයේ ගඩොල් කර්මාන්තයේ නිරත ජනතාවද දැඩි අපහසුතාවට පත්ව සිටිති.
















