කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සිව්වැනි වසරේ සහ තෙවැනි වසරේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකට අදාළව සිසුන් හත්දෙනෙකු කිරිබත්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සිව්වැනි වසරේ සිසුන් තිදෙනෙකු සහ තෙවැනි වසරේ සිසුන් සිව්දෙනෙකි.
විශ්වවිද්‍යාල ආපනශාලාව අසලදී මෙම ගැටුම හටගෙන ඇති අතර, තෙවැනි වසරේ සිසුන් විසින් සිව්වැනි වසරේ ජ්‍යෙෂ්ඨ සිසුන්ට සුදුසු පරිදි ගෞරව නොදැක්වීම මෙම නොසන්සුන්කාරී තත්ත්වයට හේතු වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම සිසුන් දෙදෙනෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
ගැටුම සමථයකට පත්කර ගැනීමට දෙපාර්ශ්වයම ආරම්භයේදී අකමැත්ත පළකිරීම හේතුවෙන් සැකකාර සිසුන් අධිකරණයට ඉදිරිපත් කරන තෙක් පොලිස් සිරමැදිරියේ රඳවා තැබීමට පියවර ගෙන තිබුණි. කෙසේවෙතත්, සිරමැදිරියේ පසුවන අතරතුර දෙපිරිස අතර ඇතිවූ සාකච්ඡාවකින් පසුව මෙම ආරවුල සමථයකට පත්කර ගැනීමට ඔවුන් එකඟ වී ඇති අතර, ඒ පිළිබඳව පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව අදාළ සිසුන් හත්දෙනා පොලිස් ඇප මත මුදාහැරීමට කටයුතු කර ඇත.
කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. ඒ. බී. අබේරත්න මහතාගේ උපදෙස් පරිදි, විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලියනගේ මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සිසු ගැටුම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන ලදී.
















