මෙරට පළමු තේ නිපදවන්නන්ගේ සමූපකාර සමිතිය වන සී/ස මොරවක්කෝරළේ තේ නිපදවන්නන්ගේ සමූපකාර සමිතියේ “අලුත් වන මහ ගෙදර” යන තේමාව යටතේ නව පරිපාලන ගොඩනැගිල්ලට මුල්ගල් තැබීම සහ වසර 39ක කාලයක් පත්වීම් ලිපි නොලබා සේවය කළ සේවකයන් පිරිසකට පත්වීම් ලිපි ලබා දීම ඊයේ (21) සිදු කෙරිණි. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොටපොල මොරවක්කෝරළේ තේ නිපදවන්නන්ගේ සමූපකාර සමිති පරිශ්‍රයේදී මෙම උත්සවය පවත්වන ලදී.
වසර 73ක ඉතිහාසයක් ඇති මෙම සමූපකාර සමිතිය, වර්තමානයේ තේ කර්මාන්තශාලා තුනක්, සමූපකාර බැංකු ශාඛා දෙකක්, ඉන්ධන පිරවුම්හලක්, සේවා ස්ථානයක්, සුවසේවා බස් රථයක් සහිත ප්‍රවාහන අංශයක්, තේ වත්තක්, තේ පැල තවානක්, සිල්ලර වෙළෙඳසැල් 4ක් සහ නිවාඩු නිකේතනයක් ඇතුළු ව්‍යාපාර රාශියකින් සමන්විත ශක්තිමත් ආයතනයකි. සමිතියේ වත්මන් සභාපති ජාලිය චමින්ද මහතාගේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සංකල්පයක් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
උත්සවය අමතමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ රජයේ මුදල් හා සම්පත් නිසි ලෙස කළමනාකරණය කරමින් ජනතාවට සහන සැලසීම රජයේ අරමුණ බවත්, සමුපකාර ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා නව නීති රාමුවක් සහ බැංකු නියාමන පනතක් සකස් කරමින් පවතින බවත්ය. විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් සමඟ මර්දනයට ලක් වූ සමුපකාර ව්‍යාපාරය යළි නගාසිටුවමින්, එය රටේ ආර්ථිකයේ ශක්තිමත් කුළුණක් බවට පත් කරන තෙක් ආණ්ඩුව නොකඩවා සහයෝගය ලබා දෙන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, දකුණු පළාත් ග්‍රාමීය බැංකු සංගමය මගින් සිදුව ඇති රුපියල් මිලියන 4000කට අධික මහා පරිමාණ මූල්‍ය වංචාව දැඩි ලෙස හෙළා දුන් අතර, සාමාන්‍ය ජනතාවගේ සහ විශ්‍රාමිකයන්ගේ මුදල් කොල්ලකෑ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති බව පෙන්වා දුන්නේය. එසේම, නිෂ්පාදන සමූපකාර සමිති ශක්තිමත් කිරීම සඳහා මොරවක්කෝරළේ සමූපකාරයට ලක්ෂ 26ක් වටිනා තේ ඇසුරුම් කරන යන්ත්‍රයක් ලබාදීමටත්, මිලියන 500ක වී වේලන යන්ත්‍ර සමූපකාර 50කට බෙදා දීමටත් කටයුතු කරන බව පැවසීය. මීට අමතරව, මෙගා කෝප් සිටි ඉදි කිරීමට ලක්ෂ 1000ක් ලබා දෙන බවත්, බෙදාහැරීම් ජාලය ක්‍රමවත් කිරීම සඳහා සමූපකාර තොග වෙළඳ සංස්ථාව සහ මාතර තොග වෙළඳසැල නැවත ස්ථාපිත කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
මෙම අවස්ථාවට දකුණු පළාත් සමූපකාර ලේකම් කැලුම් විජේනායක, දකුණු පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස් බෙනිකා ජයසේකර, මොරවක්කෝරළේ තේ නිපදවන්නන්ගේ සමූපකාර සමිතියේ සභාපති ජාලිය චමින්ද ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ සමුපකාරිකයන් පිරිසක් එක්ව සිටියහ.
















