ශ්‍රී ලංකාව කලාපීය සැපයුම් දාම මධ්‍යස්ථානයක් (Regional Logistics Hub) බවට පත් කිරීමේ අරමුණින්, ඩාර්ට් ග්ලෝබල් ලොජිස්ටික්ස් සමූහයේ (Dart Global Logistics Group) නවතම ව්‍යාපෘතිය වන ‘DGL නිදහස් කලාපය’ (DGL Free Zone Pvt Ltd) නිල වශයෙන් විවෘත කර ඇත.
අගෝස්තු 19 වැනි දින විවෘත කරන ලද මෙම නව පහසුකම වර්ග අඩි 135,000 ක පමණ විශාලත්වයකින් යුක්ත වන අතර, ඝන මීටර් 30,000 ක ගබඩා කිරීමේ ධාරිතාවක් සපයයි. මෙහි මට්ටම් 10 කින් යුත් රැකින් පද්ධතියක් (Racking system) සහ අඩි 40 ක කන්ටේනර් 450 කට ආසන්න ධාරිතාවක් මෙන්ම, වේගයෙන් භාණ්ඩ පටවමින් බෑම සඳහා භාණ්ඩ තොටුපළ 25 කට වඩා වැඩි ප්‍රමාණයක් ද ඇතුළත් වේ.
ජාත්‍යන්තර ව්‍යාපාරික ආයතන සඳහා ලේබල් කිරීම, ඇසුරුම් කිරීම සහ කලාපීය බෙදා හැරීමේ කටයුතු ශ්‍රී ලංකාව තුළ සිදු කර ගැනීමට මෙමගින් අවස්ථාව උදා වේ. කුටි තුනකට බෙදා ඇති මෙම ගබඩා සංකීර්ණය තුළ ඖෂධ සහ වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ (FMCG) වැනි විශේෂිත අංශ සඳහා උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව පාලනය කළ හැකි නවීන තාක්ෂණික පහසුකම් ද සපයා ඇත. තවද, ජාත්‍යන්තර මට්ටමේ පළමු පෙළේ ගබඩා කළමනාකරණ පද්ධති සහ RFID ස්කෑනිං තාක්ෂණය මෙහි මෙහෙයුම් සඳහා යොදා ගනිමින් කාර්යක්ෂමතාව ඉහළ නංවා තිබේ.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම මගින් සෘජු රැකියා අවස්ථා නිර්මාණය වීමට අමතරව ප්‍රවාහන, භාණ්ඩ නිෂ්කාශන සහ අනෙකුත් ලොජිස්ටික් සේවා අංශයන්ට ද නව අවස්ථා රැසක් විවර වනු ඇතැයි අපේක්ෂා කෙරේ. විවෘත කිරීමේ අවස්ථාව සඳහා ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රේගුව සහ බැංකු ක්ෂේත්‍රය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ DGL සමූහයේ සභාපති චාල්ස් විජේසුන්දර සහ කළමනාකාර අධ්‍යක්ෂ මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් විජේසුන්දර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















