ඩුබායිහි සැඟව සිටි ප්‍රධාන පෙළේ මෙරට අපරාධකරුවන් වන කොණ්ඩ රංජි, ඇල්ටෝ ධර්මේ, බස් ලලිත් සහ වනාතේ චතූ යන පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව එරට ආරක්ෂක අංශ විසින් මෙරට ආරක්ෂක අංශ වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.
ඒ අනුව, පසුගිය වසරේදී ඩුබායිහිදී අත්අඩංගුවට පත් වූ බස් ලලිත් නමැත්තා එළැඹෙන සඳුදා (අගෝස්තු 24) මෙරටට රැගෙන ඒම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් මේ වන විට ඩුබායි රාජ්‍ය වෙත ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙම අපරාධකරුවන්ට එල්ල වී ඇති ප්‍රධාන චෝදනා අතර, හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ඝාතනය කිරීමට උත්සාහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොණ්ඩ රංජිටද, ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ පියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇල්ටෝ ධර්මේටද චෝදනා එල්ල වී ඇත. එසේම, බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ ඝාතන රැසකට සම්බන්ධ බවට වනාතේ චතූටත්, හංවැල්ල ප්‍රදේශයේ කප්පම් ගැනීම් සහ මනුෂ්‍ය ඝාතන රැසක් සිදුකිරීම සම්බන්ධයෙන් බස් ලලිත්ටත් චෝදනා එල්ල වී තිබේ.
මෙම මෙහෙයුම මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සහ රාජ්‍ය බුද්ධි සේවය එක්ව ඩුබායි ආරක්ෂක අංශ සමඟ සම්බන්ධීකරණයෙන් සිදු කරනු ලැබ ඇත. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ මෙහෙයවීමෙන් සහ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සැකකරු මෙරටට රැගෙන ඒමට කටයුතු යොදා ඇත.
















